ඉරාන නෞකාවලින් මුදාගනු ලැබූ නාවිකයින් කණ්ඩායමට මාසයක කාලයක් සඳහා සහන වීසා (Relief Visas) ලබාදී ඔවුන්ට අවශ්‍ය මානුෂීය රැකවරණය සැලසීමට රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අද (08) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම තීරණය කිසිදු දේශපාලන පාර්ශවයකට පක්ෂපාතීව හෝ පීඩාවක් වන අයුරින් ගත් එකක් නොවන බවයි. ජාත්‍යන්තර සම්මුතීන් සහ නාවික නීති රීතිවලට අනුකූලව, ශ්‍රී ලංකාවේ පවතින නොබැඳි විදේශ පිළිවෙත (Non-Aligned Policy) තහවුරු කරමින් මෙම සහන සලසන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ අනතුරට පත් වූ විදේශිකයන්ට මානුෂීය සහයෝගය දැක්වීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් පියවරක් ලෙස සැලකේ.















