ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් “හෙෂන් බබා” නමැති බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය ඉරාන යාත්‍රාවකින් ලබාදුන් බවට අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හමුවේ සිදුකළ ප්‍රකාශවලින් හෙළි වී ඇත්තේ, පෙබරවාරි 13 වනදා ගාල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තමන්ට මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු බවයි.
නාවික හමුදාව විසින් ඊයේ (07) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර, එහි තිබී ඇසුරුම් 91ක බහා තිබූ හෙරොයින් කිලෝ 103ක් සහ කොකේන් ග්‍රෑම් 913ක් සොයාගෙන ඇත. මෙහි වටිනාකම රුපියල් කෝටි 300කට ආසන්න බව ගණන් බලා තිබේ. අද අලුයම දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.














