වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ. එරට සන්නිවේදන හා ඩිජිටල් කටයුතු අමාත්‍ය මියුටියා හෆීඩ් (Meutya Hafid) මහත්මිය ප්‍රකාශ කළේ ඉහළ අවදානමක් සහිත ඩිජිටල් වේදිකාවල ගිණුම් පවත්වාගෙන යාම දරුවන්ට මෙලෙස තහනම් වන බවයි.
මෙම තහනම ලබන මාර්තු 28 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. TikTok, YouTube, Facebook, Instagram, Threads, X, Bigo Live සහ Roblox වැනි ජනප්‍රිය වෙබ් අඩවි සහ ඇප් මෙයට ඇතුළත් වේ. අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වීම, සයිබර් හිරිහැර (Cyberbullying), සබැඳි වංචා සහ ඇබ්බැහි වීම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවත්, ඇල්ගොරිදම් (Algorithms) සමඟ තනිවම සටන් කරන දෙමාපියන්ට සහයක් වීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.















