මධ්‍යම පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත ඉරානය එල්ල කළ ප්‍රහාර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් තම රට මත “පටවන ලද” යුද්ධයට ප්‍රතිචාරයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා ප්‍රකාශ කළේය. NBC නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ඉරානය මෙම ගැටුම තෝරා නොගත් බවත්, තමන් ක්‍රියා කරන්නේ ස්වයං ආරක්ෂාව සඳහා වූ අයිතියට අනුව බවත්ය.
මෙම ගැටුම “ප්‍රකෝප කිරීමකින් තොරව, අනවශ්‍ය ලෙස සහ නීති විරෝධී ලෙස” තමන් මත පටවා ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඉරානයේ හමුදා ක්‍රියාමාර්ග එල්ල වන්නේ කලාපය තුළ පිහිටි ඇමරිකානු කඳවුරු සහ දේපළ වෙත පමණක් බව ද සඳහන් කළේය. අසල්වැසි රටවල භූමිය තුළ එම ඇමරිකානු මධ්‍යස්ථාන පිහිටා තිබුණ ද ඒවා ඉලක්ක කිරීමට තමන් පසුබට නොවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගැනීම පිළිබඳව ද අදහස් දැක්වූ අරග්චි මහතා, එය ඉරාන ජනතාව සතු අභ්‍යන්තර කටයුත්තක් පමණක් බව අවධාරණය කළේය. පූජක මණ්ඩලය (Assembly of Experts) විසින් ඉතා ඉක්මනින් නව නායකයා තෝරා ගැනීමට නියමිත බවත්, රටේ දේශපාලන ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ඉරානයේ අභ්‍යන්තර කටයුතු සඳහා බාහිර පාර්ශවයන්ට මැදිහත් වීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.














