ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇති Ozempic සහ Wegovy වැනි බර අඩු කරන සහ දියවැඩියාව පාලනය කරන ඖෂධ (Semaglutide), මසකට ඇමරිකානු ඩොලර් 3ක් (රුපියල් 900ක් පමණ) වැනි ඉතා අඩු මුදලකට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙය දැනට පවතින අධික මිල හේතුවෙන් මෙම ඖෂධ ලබා ගැනීමට නොහැකිව සිටින ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රටවල වැසියන්ට විශාල සහනයක් වනු ඇත.
ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ එන්නත් ලබා ගන්නා ආකාරයේ Semaglutide ඖෂධය ඩොලර් 3කටත්, පෙති වශයෙන් ලබා ගන්නා නව මාදිලිය මසකට ඩොලර් 16කටත් නිෂ්පාදනය කළ හැකි බවයි. දැනට මෙම ඖෂධය ඇමරිකාවේදී මසකට ඩොලර් 200ක් සහ බ්‍රිතාන්‍යයේදී පවුම් 120ක් වැනි ඉහළ මිලකට අලෙවි වේ.
මෙම වසරේ මාර්තු 21 වනදා සිට ඉන්දියාව, චීනය, බ්‍රසීලය සහ මෙක්සිකෝව ඇතුළු රටවල් 10ක මෙම ඖෂධය සඳහා වූ පේටන්ට් බලපත්‍ර (Patents) කාලය අවසන් වීමට නියමිතය. එමෙන්ම අප්‍රිකානු රටවල් ඇතුළු තවත් රටවල් 150ක මේ සඳහා පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කර නොමැති බැවින්, එම රටවලට ඉතා අඩු මිලට මෙම ඖෂධයේ ‘ජෙනරික්’ (Generic) මාදිලි නිෂ්පාදනය කිරීමට හෝ ආනයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
දැනට ලොව පුරා බිලියනයකට අධික පිරිසක් ස්ථුලතාවයෙන් (Obesity) පෙළෙන අතර, එය හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි රෝග රැසකට හේතු වේ. ඖෂධවල මිල අඩු වීම මගින් මෙම සෞඛ්‍ය ගැටලු පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. කෙසේ වෙතත්, ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් සහ යහපත් ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම ද මෙයට සමගාමීව සිදුවිය යුතු බවත් විද්‍යාඥයෝ අවධාරණය කරති.














