ලොව පුරා පවතින සැබෑ මුහුදු මට්ටම, මීට පෙර ගණන් බලා තිබූ මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක පවතින බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ‘Nature’ විද්‍යා සඟරාවේ පළවූ මෙම අධ්‍යයනයට අනුව, ගෝලීය වශයෙන් සාමාන්‍ය මුහුදු මට්ටම මීට පෙර සිතා සිටි ප්‍රමාණයට වඩා සෙන්ටිමීටර 30කින් පමණ ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම ගිනිකොනදිග ආසියාව සහ ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු මට්ටම සෙන්ටිමීටර 100 සිට 150 දක්වා ප්‍රමාණයකින් අවතක්සේරු කර ඇති බව මෙහිදී හෙළි වී ඇත.
මෙම දත්ත දෝෂයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පර්යේෂණ රැසකදී සෘජු මුහුදු මට්ටම් මැනීම් වෙනුවට, පෘථිවියේ ගුරුත්වාකර්ෂණය සහ භ්‍රමණය මත පදනම් වූ ‘ගෝලීය ජියොයිඩ් ආකෘති’ (Global Geoid Models) භාවිත කිරීමයි. එහෙත් සුළං රටා, සාගර දියවැල්, මුහුදු ජලයේ උෂ්ණත්වය සහ ලවණතාවය වැනි සාධක මගින් සැබෑ මුහුදු මට්ටම කෙරෙහි එල්ල වන බලපෑම එම ආකෘති මගින් නිසි ලෙස ගණනය කර නොමැති බව නෙදර්ලන්තයේ වැගනින්ගන් (Wageningen) විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම නව අනාවරණයත් සමඟ වෙරළබඩ ජනාවාසවලට එල්ල වන අවදානම තවදුරටත් දැඩි වී තිබේ. මුහුදු මට්ටම මීටර් එකකින් ඉහළ ගියහොත්, මීට පෙර අපේක්ෂා කළාට වඩා 37%ක වෙරළබඩ භූමි ප්‍රමාණයක් මුහුදට යටවීමේ අවදානමක් පවතින අතර, එමගින් මිලියන 132කට අධික ජනතාවක් පීඩාවට පත්වනු ඇත.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) වැනි ප්‍රමුඛ ආයතන සිය වාර්තා සඳහා මෙම වැරදි දත්ත සහිත පර්යේෂණ යොදාගෙන ඇති බවට විද්‍යාඥයෝ සිය කනස්සල්ල පළ කරති. එබැවින් වෙරළබඩ ආපදා පිළිබඳ පවතින අධ්‍යයන සහ ප්‍රතිපත්ති කඩිනමින් යාවත්කාලීන කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.














