ඉරාන හමුදාවන් ජනාකීර්ණ ප්‍රදේශ යොදා ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් එරට සිවිල් වැසියන්ට සිය නිවෙස්වලින් බැහැරට නොගොස් ඇතුළත රැඳී සිටින ලෙස ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (US Central Command) නිවේදනයක් නිකුත් කර තිබේ. හමුදාමය කටයුතු සඳහා යොදා ගන්නා ස්ථාන ජාත්‍යන්තර නීතිය යටතේ පවතින ආරක්ෂිත තත්ත්වයෙන් බැහැර වන බැවින් එම ස්ථාන නීත්‍යානුකූල මිලිටරි ඉලක්ක බවට පත්විය හැකි බවත් එමගින් සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ වැටෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
CENTCOM අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පෙන්වා දෙන්නේ ඉරාන පාලන තන්ත්‍රය සිය වැසියන්ගේ ආරක්ෂාව නොතකා හැර ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කරන බවයි. මෙම තත්ත්වය මීට පෙර ගාසා තීරයේදී හමාස් සංවිධානය සිවිල් වැසියන් පලිහක් ලෙස යොදා ගන්නා බවට ඊශ්‍රායලය කළ ප්‍රකාශයන්ට සමාන ස්වරූපයක් ගන්නා බව විචාරකයෝ පවසති.
පෙබරවාරි 28 වනදා සිට ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව තුළ ඇමරිකාව විසින් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානය දිගින් දිගටම චෝදනා කරයි. බීබීසී (BBC) ආයතනය මගින් තහවුරු කර ඇති පරිදි ඉරානයේ රෝහලක්, ක්‍රීඩා මධ්‍යස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් සහ පාසල් දෙකකට ප්‍රහාර හේතුවෙන් හානි සිදුව තිබේ. විශේෂයෙන්ම පසුගිය සෙනසුරාදා උදෑසන එක් පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 168 දෙනෙකු මියගිය බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.














