ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ඇෆ්රිකානර්වරුන්ට (Afrikaners) ඇමරිකාවේ සරණාගතභාවය ලබාදීමට ගෙන ඇති ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa), එය “ජාතිවාදී” පියවරක් බව ප්‍රකාශ කර තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ට්‍රම්ප් පවසන “සුදු ජාතික ජන සංහාරය” (White Genocide) පිළිබඳ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර සහ නොදැනුවත්කම මත පදනම් වූ ඒවා බවයි.
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භ කළ 2025 වසරේ සිට දකුණු අප්‍රිකාවේ සුදු සුළුතරයට එරෙහිව ජන සංහාරයක් සිදුවන බවත් ඔවුන්ගේ ඉඩම් රජය විසින් බලහත්කාරයෙන් පවරා ගන්නා බවත් පවසමින් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට රමපෝසා චෝදනා කරයි. පසුගිය මැයි මාසයේදී ඇමරිකාව විසින් ඇෆ්රිකානර්වරුන්ට සරණාගත තත්ත්වය ලබාදීමට තීරණය කළ අතර, ඒ හා සමගාමීව යුද්ධයෙන් පීඩා විඳින සැබෑ සරණාගතයින් සඳහා වූ වැඩසටහන් කපා හැරීමට කටයුතු කර තිබේ. මෙම ප්‍රතිපත්තිය දකුණු අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදී (Apartheid) පාලනයේ අඳුරු අතීතය සහ එමගින් කළ විනාශය නොසලකා හැරීමක් බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
දකුණු අප්‍රිකාවේ වත්මන් සමාජ-ආර්ථික දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ සුදු ජාතික ඇෆ්රිකානර්වරුන් තවමත් එරට කළු ජාතික බහුතරයට වඩා කිහිප ගුණයකින් ධනවත් මට්ටමක පසුවන බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නීත්‍යානුකූල රාමුවක් තුළ සිදුවන්නක් බවත්, කිසිදු සුදු ජාතික ගොවියෙකු බලහත්කාරයෙන් රටින් පලවා හැරීමක් සිදු නොවන බවත් රමපෝසා මෙහිදී පැහැදිලි කළේය.
ට්‍රම්ප් පාලනය විසින් දකුණු අප්‍රිකාව G20 සහ ඇමරිකාවේ පැවැත්වෙන සමුළුවලින් කොන් කිරීමට ද පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රමපෝසා පැවසුවේ, “අප කුඩා රටක්, අප ඇමරිකාවට කිසිදු තර්ජනයක් නොවේ, එබැවින් ඔහු අප කෙරෙහි මෙතරම් අවධානයක් යොමු කිරීම පුදුම සහගතයි” යනුවෙනි. දකුණු අප්‍රිකාවේ සත්‍ය තත්ත්වය වටහා ගැනීමට නම් වර්ණභේදවාදී අතීතය දෙස වඩාත් පැහැදිලි දෘෂ්ටියකින් බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














