ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් නොවන බවත්, එය තාවකාලික “සුළු බාධාවක්” (Little glitch) පමණක් බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ABC News නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙම තත්ත්වය තමන් කලින් අපේක්ෂා කළ “පිටමගකට යොමු වීමක්” (Detour) වැනි බවත්, ඉදිරියේදී සියල්ල යථා තත්ත්වයට පත් වනු ඇති බවත්ය.
ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඉන්ධන මිල ඉහළ යාමට වඩා ඇමරිකානු හමුදාව යුද්ධයේදී ලබා ඇති ජයග්‍රහණ වැදගත් බවයි. විශේෂයෙන්ම ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 44ක් මුහුදුබත් කිරීමට ඇමරිකානු හමුදාව සමත් වූ බවත්, එමගින් මුළු ඉරාන නාවික හමුදාවම පාහේ විනාශ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ඇමරිකානු හමුදාවේ මෙම දැවැන්ත ජයග්‍රහණය හමුවේ ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් දරාගත හැකි මට්ටමක පවතින බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත්, ඇමරිකාව තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල පිළිවෙළින් 11%කින් සහ 15%කින් සතියක් තුළ ඉහළ ගොස් ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබේ. නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කොංග්‍රස් මණ්ඩල මැතිවරණය හමුවේ ජීවන වියදම ප්‍රධානතම සාධකයක් වී ඇති අතර, රුසියානු තෙල් සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට රජය ගත් තීරණය ද මෙම “සුළු බාධාව” මඟහරවා ගැනීමේ උත්සාහයක් ලෙස පෙනී යයි.














