බ්‍රිතාන්‍යයට අයත් කැරිබියන් දූපත් සමූහය අවට ගැඹුරු මුහුදේ මෙතෙක් ලෝකයා නොදුටු අතිශය දුර්ලභ මුහුදු ජීවීන් සහ විස්මිත කොරල් පර රැසක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. බ්‍රිතාන්‍ය පරිසර, ධීවර සහ ජලජීවී විද්‍යා මධ්‍යස්ථානයේ (CEFAS) පර්යේෂකයන් විසින් සති හයක් පුරා සිදුකළ සුවිශේෂී ගවේෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. පර්යේෂකයන් පවසන පරිදි දශක කිහිපයක් පැරණි සිතියම් පවා වැරදි සහගත වූ අතිශය දුෂ්කර සාගර කලාපවල ඔවුන් පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී මීටර් 6,000ක් තරම් ගැඹුරු මුහුදේ දර්ශන පටිගත කිරීමට විශේෂිත කැමරා උපකරණ භාවිතා කර තිබේ.
මෙම ගවේෂණයේදී හමුවූ සුවිශේෂීම සොයාගැනීමක් වන්නේ දේශගුණික විපර්යාසවල බලපෑමට හසු නොවී ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව පවතින කොරල් පර පද්ධතීන්ය. මීට අමතරව සාගර පත්ලේ පිහිටි යෝධ කඳු වැටි, අද්භූත “නිල් කුහර” (Blue Holes) සහ මෙතෙක් විද්‍යා ලෝකයේ අවධානයට ලක් නොවූ අමුතුම ආකාරයේ මුහුදු ජීවීන් රැසක් ඔවුන්ගේ කැමරාවල සටහන් වී ඇත. කේමන් දූපත්, ඇන්ගුයිලා සහ ටර්ක්ස් සහ කයිකෝස් වැනි දූපත් ආශ්‍රිතව සිදුකළ මෙම මෙහෙයුම මගින් ලැබුණු තොරතුරු ඉදිරියේදී සාගර පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමට මහත් පිටුවහලක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.














