ස්පාඤ්ඤයේ ලේඛනගත නොවී වෙසෙන විදේශීය සංක්‍රමණිකයන් පන්ලක්ෂයකට (500,000) පමණ නීත්‍යානුකූල පදිංචිය ලබා දීමට එරට රජය තීරණය කර තිබේ. මෙම නව සහන කාලය යටතේ ස්පාඤ්ඤය තුළ අවම වශයෙන් මාස පහක කාලයක් රැඳී සිටි සහ අපරාධ වාර්තා නොමැති ඕනෑම සංක්‍රමණිකයෙකුට පදිංචිය සඳහා අයදුම් කළ හැකිය. මේ සඳහා වන අයදුම්පත් ලබන අප්‍රේල් මස මුල සිට ජූනි මස අවසානය දක්වා භාරගැනීමට නියමිත අතර, සුදුසුකම් ලබන්නන් සඳහා වසරක කාලයකට බලපැවැත්වෙන, නැවත අලුත් කළ හැකි වීසා බලපත්‍රයක් හිමිවනු ඇත.
ස්පාඤ්ඤ රජයේ මෙම රැඩිකල් තීරණය නිසා එරට ලේඛන නොමැතිව සේවය කරන දහස් සංඛ්‍යාත පිරිසකට විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නීත්‍යානුකූල ලේඛන නොමැති වීම නිසා මෙතෙක් විවිධ සූරාකෑම්වලට ලක්වූ, බැංකු පහසුකම් සහ නිවාස ලබාගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ දුන් සංක්‍රමණිකයන් පවසන්නේ මෙම පියවර තමන්ට සෑම අතින්ම උපකාරී වන බවයි. සංක්‍රමණිකයන් නීත්‍යානුකූල වීම හරහා ඔවුන් රජයට බදු ගෙවීමට දායක වීම සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම නිසා එරට ආර්ථිකයට ද ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.















