දිවයිනේ පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දරුවන් අතර සමේ රෝග සහ විජලනය (Dehydration) ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. විශේෂයෙන්ම දරුවන්ගේ සම ඉතා සංවේදී බැවින් රෑෂ් (Rashes), සමේ පළු දැමීම සහ දිලීර ආසාදන ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
වර්තමානයේ පාසල්වල වාර්ෂික නිවාඩු ක්‍රීඩා උත්සව පැවැත්වෙන බැවින්, එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී අධික ලෙස දහඩිය දැමීමෙන් සිරුරේ අත්‍යවශ්‍ය ලවණ වර්ග (සෝඩියම් සහ පොටෑසියම්) ඉවත් වී මොළයට සහ හදවතට පවා බලපෑම් ඇති විය හැකි බව බලධාරීහු පවසති. දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට සැලැස්වීම, ස්වභාවික පාන වර්ග ලබා දීම සහ දහවල් කාලයේ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම අවම කිරීම කෙරෙහි දෙමාපියන් සහ ගුරුවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.














