ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය ගැටුම් 11 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක, හමුදා ප්‍රහාර එල්ල වෙමින් පවතින තාක් සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිදු ඉඩක් නොමැති බව ඉරානය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මෙම යුද්ධය තමන් විසින් ආරම්භ කරන ලද්දක් නොවන බවත්, ඇමරිකාව සහ “සියොන්වාදී පාලනය” (ඉශ්‍රායලය) විසින් එල්ල කරන ආක්‍රමණ හමුවේ ඉරානයේ එකම අවධානය දැන් යොමු වී ඇත්තේ රට ආරක්ෂා කර ගැනීමට සහ සතුරාට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පමණක් බවත්ය.
මේ අතර, අසර්බයිජානය, තුර්කිය සහ සයිප්‍රසය යන රටවලට ඉරාන හමුදාව විසින් ඩ්‍රෝන හෝ මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා තරයේ ප්‍රතික්ෂේප කළේය. ඉරානයේ ආරක්ෂක පියවරයන් කලාපීය කිසිදු රටකට එරෙහි සතුරුකමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතු බව පෙන්වා දුන් ඔහු, අදාළ ප්‍රහාර ඉරානය තුළින් හෝ ඉරාන හමුදාවන් විසින් දියත් නොකළ බවට එර රට හමුදා මූලස්ථානය නිල වශයෙන් තහවුරු කර ඇති බව ද පැවසීය.
කෙසේ වෙතත්, අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මෙම ප්‍රහාර “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් ඉරානයෙන් සමාව අයදින ලෙස බලකර ඇති අතර, සිය තානාපති නිලධාරීන් ද ඉරානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිලයක් නේටෝ (NATO) ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමත් සමඟ තුර්කිය ද සිය විරෝධය පළ කර ඇති අතර සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය කඳවුරකට එල්ල වූ ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හෙස්බොල්ලා සංවිධානය විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ ඉරානය සහ අසල්වැසි මුස්ලිම් රටවල් අතර සබඳතා බිඳ දැමීම සඳහා ඉශ්‍රායලය මෙවැනි කුමන්ත්‍රණ දියත් කරන බවයි.















