තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු (Ekrem İmamoğlu) ඇතුළු 400 දෙනෙකුට එරෙහිව පවරා ඇති දැවැන්ත දූෂණ නඩුවක විභාග කටයුතු අද (මාර්තු 09) එරට අධිකරණයකදී ආරම්භ විය. වත්මන් ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගන්ට (Recep Tayyip Erdoğan) එරෙහිව එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටි ඉමාමොග්ලුගේ දේශපාලන ගමන වැළැක්වීම සඳහා රජය විසින් මෙහෙයවන ලද දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස විචාරකයෝ සහ මානව හිමිකම් සංවිධාන මෙම නඩු විභාගය හඳුන්වති.
පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් ඉමාමොග්ලු මහතා දැනට අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටින අතර, ඔහුට එරෙහිව වසර 1,900කට අධික සිර දඬුවම් නියම විය හැකි බරපතළ දූෂණ සහ සංවිධානාත්මක අපරාධ චෝදනා එල්ල වී තිබේ. නීතිපතිවරයා පවසන්නේ ඉමාමොග්ලුගේ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් පසුගිය වසර 10ක කාලය තුළ තුර්කි රජයට ලීරා බිලියන 160ක (පවුම් බිලියන 2.85ක් පමණ) පාඩුවක් සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, ඔහුගේ පාර්ශවය මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලබයි.
අධිකරණ ශාලාව අවට කිලෝමීටරයක සීමාව තුළ සියලු විරෝධතා තහනම් කර තිබුණද, දහස් සංඛ්‍යාත ඉමාමොග්ලු හිතවාදීහු අධිකරණයට නුදුරින් රැස්ව සිය නායකයා නිදහස් කරන ලෙස ඉල්ලා හඬ නැගූහ. ඉමාමොග්ලුගේ ජනප්‍රියත්වය හමුවේ බියට පත් රජය, ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් වන විශ්වවිද්‍යාල උපාධි සහතිකය පවා අවලංගු කිරීමට කටයුතු කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මෙය තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීම සඳහා එල්ල කරන ලද මරු පහරක් බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය අවධාරණය කරයි.
මෙම නඩු විභාගයට සමගාමීව තුර්කිය පුරා සිටින විපක්ෂ නගරාධිපතිවරුන් රැසක් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගෙන ඇති අතර, එය එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය (CHP) දුර්වල කිරීමේ උපායමාර්ගයක් බව දේශපාලන විචාරකයෝ පවසති. මෙම නඩුව මෙහෙයවූ ප්‍රධාන නීතිපතිවරයා පසුගියදා අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කිරීම ද මෙම ක්‍රියාවලිය දේශපාලන බලපෑම් මත සිදුවන්නක් බව තවදුරටත් තහවුරු කරන්නක් බව ඔවුහු පෙන්වා දෙති.














