ඉරානයේ මිනාබ් නුවර පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් සිසුන් 165 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ ප්‍රකාශයන් අභියෝගයට ලක් කරමින්, එම ප්‍රහාරය ඇමෙරිකාව විසින් එල්ල කරන ලද්දක් බවට නවතම විමර්ශන සාක්ෂි පෙන්වා දෙයි. ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් වන බෙලින්කැට් (Bellingcat) ආයතනය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශන විශ්ලේෂණයකට අනුව, පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරය සඳහා ඇමෙරිකානු හමුදාව සතු “ටොමහෝක්” (Tomahawk) වර්ගයේ කෲස් මිසයිලයක් භාවිතා කර ඇති බව හඳුනාගෙන තිබේ. මෙම යුද්ධයේදී එවැනි මිසයිල භාවිතා කරන එකම පාර්ශවය ඇමෙරිකාව වන අතර, එමගින් ට්‍රම්ප් මීට පෙර පැවසූ “මෙය ඉරානයේ වැරදි ප්‍රහාරයක්” යන ප්‍රකාශය සාවද්‍ය බවට පත්වන බව විමර්ශකයන් පෙන්වා දෙයි.
මීට අමතරව, ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය සමඟ අදහස් දැක්වූ නිර්නාමික ඇමෙරිකානු නිලධාරියෙකු ද තහවුරු කර ඇත්තේ මෙම ප්‍රහාරය බොහෝ දුරට ඇමෙරිකානු හමුදාව අතින් සිදුවූවක් බවයි. ප්‍රහාරය එල්ල වූ පාසල පිහිටා ඇත්තේ ඉරාන විප්ලවීය හමුදා කඳවුරකට සහ නාවික බැරැක්කයකට යාබදව බැවින්, ඇමෙරිකානු යුද නැව්වලින් එල්ල කළ ප්‍රහාරයක් ඉලක්කයෙන් බැහැරව පාසලට පතිත වන්නට ඇති බවට සැක කෙරේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ ඉරානයේ අවි ආයුධ “නිරවද්‍ය නොවන” බැවින් ඔවුන් විසින්ම මෙය සිදුකර ගත් බවයි. නමුත් ඊශ්‍රායලය පවා මිනාබ් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කර නැති පසුබිමක සහ ඇමෙරිකානු පෙන්ටගනය මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් (Assessment) ආරම්භ කර ඇති තත්ත්වය තුළ, ප්‍රහාරයේ වගකීම ඇමෙරිකාව වෙත එල්ල වෙමින් පවතී.














