කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේ අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූහ. මෙම හමුව සිදුවූයේ රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ආශිර්වාද ලබා දීම සඳහාය.
මෙහිදී ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වූ අතර, රටේ වත්මන් තත්ත්වය සහ රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙළවල් පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තේය. රජයේ කටයුතු සාර්ථකව සහ වඩාත් විනිවිදභාවයකින් යුතුව ඉදිරියට කරගෙන යාම සඳහා මහානායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සිය ශුභාශිර්වාදය මෙහිදී පිරිනැමූහ.
මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය අතිපූජ්‍ය මාපලගම බුද්ධසිරි ස්වාමීන් වහන්සේ ද එක්ව සිටියහ. ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙම හමුව සංවිධානය කර තිබුණි. ශාසනික සහ ජාතික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී මූලික අවධානය යොමු විය.














