කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් රිවොල්වරයක් සහ පතොරම් තොගයක් සොරාගත් බවට චෝදනා ලැබ සිටින පොලිස් සැරයන්වරයා ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) නියෝග කළේය. සැකකාර සැරයන්වරයා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සැකකරු විසින් රිවොල්වරයක්, පතොරම් 10ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් 10ක් ද සොරාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ ගිනිඅවිය සහ පතොරම් මාවතගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති බවට සැක කෙරෙන අතර, එම පුද්ගලයා සහ ගිනිඅවිය සොයා ගැනීම සඳහා පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. පොලිස් නිලධාරියෙකු විසින්ම මෙලෙස රාජකාරි අවි සොරා ගැනීම බරපතළ විනය විරෝධී ක්‍රියාවක් සේම මහජන ආරක්ෂාවට ද තර්ජනයක් වන බැවින් මේ පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ගේ ද අවධානය යොමු වී ඇත.














