ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය – ඊශ්‍රායලය අතර පවතින උග්‍ර යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව කිසිසේත්ම මධ්‍යස්ථ නොවන බවත්, තම රට ඉරානයට සහයෝගය දක්වන බවත් එක්සත් රාජධානියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කෙලින් (Andrey Kelin) පවසයි. ස්කයි නිව්ස් (Sky News) නාලිකාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
තානාපතිවරයා දැක්වූ අදහස්වල ප්‍රධාන කරුණු මෙසේය. ඉරානය රුසියාවේ අසල්වැසි රටක් වන අතර ඔවුන් සමඟ ඓතිහාසිකව ඉතා සමීප සබඳතා පවතින බැවින් රුසියාව මෙම ගැටුමේදී මධ්‍යස්ථව නොසිටින බව ඔහු පැහැදිලි කළේය. මෙම ගැටුමේදී ඉරානය පමණක් වරදකරු කිරීම අසාධාරණ බවත්, ඉරානය සිදු කරන්නේ තමන් වෙත එල්ල වූ ප්‍රහාරවලට සාධාරණ ප්‍රතිචාර දැක්වීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව ආරම්භ කළ බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
කෙසේ වෙතත්, ඉරානය මේ වන තෙක් රුසියාවෙන් කිසිදු නිල හමුදාමය ආධාරයක් ඉල්ලා නොමැති බව තානාපතිවරයා සඳහන් කළේය. රුසියාව පර්සියානු ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් කෙරෙහි ද සැලකිල්ලක් දක්වන බවත්, කලාපයේ ආක්‍රමණශීලී ක්‍රියා වහාම නතර කර සාමකාමී විසඳුමකට පැමිණීම තම රටේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














