යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වාට්ටුව මගින් සිදු කරනු ලබන විශිෂ්ට සේවාව අගය කරමින් සහ එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන ලෙස ඉල්ලමින් දකුණු පළාතේ රෝගීන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඇසේ සුද ඉවත් කර කාච දැමීමේ ශල්‍යකර්ම ඇණහිට ඇති පසුබිමක යාපනය රෝහල එම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක් කර ඇත.
මෙම සුවිශේෂී සේවාව පිළිබඳ තොරතුරු මෙසේය. ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ට පවා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්. මලරවන් මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඉතා කාරුණිකව සහ කඩිනමින් ප්‍රතිකාර ලබා දෙන බව රෝගීහු පවසති. දකුණේ ඇතැම් රෝහල්වල මෙම පහසුකම් නොමැති වීම නිසා රෝගීන්ට පෞද්ගලික අංශයෙන් විශාල මුදලක් වැය කර ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
යාපනය රෝහලේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය එස්. මලරවන් මහතා ප්‍රකාශ කළේ විදේශ ආධාර, පළාත් සභා අරමුදල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මෙම සේවාව අඛණ්ඩව කරගෙන යන බවයි. රෝහල් අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ කුමන පළාතකින් පැමිණියද රෝගීන් ලෙස සලකා වර්ග කිරීමකින් තොරව ප්‍රතිකාර ලබා දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














