පෞද්ගලික බස් රථයකින් පැමිණි බව පවසමින් කාන්තාවන් දෙදෙනෙකු ලංගම බස් රථයකට ගොඩකර ගැනීම ප්‍රතික්ෂේප කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ මන්නාරම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුගේ සේවය පසුගිය 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳ තොරතුරු මෙසේය. කොළඹ සිට පෞද්ගලික බස් රථයකින් මන්නාරමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු, එතැන් සිට තලෙයිමන්නාරම බලා යාම සඳහා ලංගම බස් රථයකට ගොඩවීමට උත්සාහ කර ඇත. එහිදී අදාළ කොන්දොස්තරවරයා ඔවුන්ට බැණ වැදී ඇත්තේ “පෞද්ගලික බස් රථයකින් ආවා නම් ලංගම බස් රථවල යා නොහැකි” බව පවසමිනි.
පීඩාවට පත් කාන්තාවන් මේ පිළිබඳව උතුරු පළාත් මගී ප්‍රවාහන අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව වහාම පරීක්ෂණයක් පවත්වා මෙම සේවය තහනම් කිරීම සිදු කර ඇත. රටේ ඕනෑම අයෙකුට තමන් කැමති ප්‍රවාහන සේවාවක් භාවිතා කිරීමට පූර්ණ නිදහස ඇති බවත්, විශේෂයෙන් කාන්තාවන්ගේ ගමනාගමන කටයුතුවලදී ආරක්ෂාකාරී සහ ගෞරවනීය සේවාවක් ලබා දීම සියලුම සේවකයන්ගේ වගකීම බවත් එම අධිකාරියේ සභාපතිවරයා අවධාරණය කර තිබේ.














