මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් කිහිපයක් නැවත ආරම්භ කරන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව රියාද් සහ ඩුබායි වෙත කෙරෙන දෛනික ගුවන් සේවා හෙට (10) සිට යථා තත්ත්වයට පත් වනු ඇත.
නැවත ආරම්භ කෙරෙන ගුවන් ගමන් කාලසටහන මෙසේය. කොළඹ සිට රියාද් බලා පියාසර කරන UL265 යානය පස්වරු 18:15 ටත්, රියාද් සිට කොළඹ බලා පැමිණෙන UL266 යානය රාත්‍රී 22:35 ටත් ක්‍රියාත්මක වේ. එමෙන්ම හෙට දින කොළඹ සිට ඩුබායි බලා යන UL231 යානය දහවල් 12:40 ට සහ ඩුබායි සිට කොළඹ බලා පැමිණෙන UL232 යානය පස්වරු 17:00 ටත් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත්, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම මෙහෙයුම් සිදු කරන බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.














