ඉන්දීය ජාතික මහාමාර්ග අධිකාරිය (NHAI) විසින් මහාමාර්ග දෙපස පවතින හරිත වැස්ම (Green Cover) විද්‍යාත්මකව මැන බැලීමේ අරමුණින් සකස් කරන ලද ප්‍රථම “ජාතික මහාමාර්ග හරිත ආවරණ දර්ශකය” (NH-GCI) අද (09) නිකුත් කරන ලදී.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ වැදගත් තොරතුරු මෙසේය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) යටතේ පවතින ජාතික දුරස්ථ සංවේදක මධ්‍යස්ථානය (NRSC) සමඟ එක්ව මෙම දර්ශකය සකස් කර ඇත. අධි-විභේදන චන්ද්‍රිකා සංවේදක (High-resolution satellite sensors) මගින් මහාමාර්ග දෙපස පවතින ශාකවල ක්ලෝරොෆිල් ප්‍රමාණය (Chlorophyll content) හඳුනා ගනිමින් හරිත වැස්ම ගණනය කිරීම මෙහිදී සිදු කෙරේ.
පළමු ඇගයීම් චක්‍රය යටතේ ප්‍රාන්ත 24ක් පුරා විහිදී ඇති කිලෝමීටර් 30,000ක මහාමාර්ග ප්‍රමාණයක් ආවරණය කර ඇති අතර, එය 2024 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය පදනම් කර ගෙන ඇත. වාර්ෂිකව නිකුත් කෙරෙන මෙම වාර්තා මගින් මහාමාර්ග දෙපස වනාන්තර වගාවන්හි වර්ධනය වසරින් වසර නිරීක්ෂණය කිරීමට සහ පාරිසරික පියසටහන් අවම කිරීමට අවශ්‍ය විද්‍යාත්මක දත්ත ලබා ගැනීමට අපේක්ෂිතය.














