තුර්කිය ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලිස්ටික් මිසයිල ප්‍රහාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඊයේ (මාර්තු 09) දැඩි ලෙස හෙළා දකින ලදී. සතියක් ඇතුළත ඉරානය විසින් තුර්කිය ඉලක්ක කරගත් දෙවන අවස්ථාව මෙය වන අතර, එමීර් රාජ්‍යයේ නිල පුවත් ඒජන්සිය වන WAM හරහා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙය කලාපීය ආරක්ෂාවට එල්ල වූ බරපතළ තර්ජනයක් බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරය මිත්‍රශීලී තුර්කි ජනරජයට එරෙහිව සිදුකළ ද්‍රෝහී උත්සාහයක් බවයි. කෙසේ වෙතත්, තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ මෙම මිසයිලය නේටෝ (NATO) ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කර දැමීමට සමත් වී ඇත. මෙය තවත් රටක ස්වෛරීභාවය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් වර්ධනය කිරීමට හේතුවන ක්‍රියාවක් බවත් එමීර් රාජ්‍යය අවධාරණය කළේය.
කලාපීය සහෝදර රටවල් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන මෙවැනි ප්‍රහාරයන් දේශපාලනික හා නීතිමය වශයෙන් කිසිසේත් අනුමත කළ නොහැකි බව එමීර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය මධ්‍යයේ ඉරානය විසින් සිදුකරන මෙම ක්‍රියාකලාපය පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය දැඩි කනස්සල්ල පළ කරමින්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.














