කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින් එරට රජයේ බහුතර බලය තහවුරු කරගැනීම ඉලක්ක කරගනිමින් ලබන අප්‍රේල් 13 වැනිදා අතුරු මැතිවරණ තුනක් පැවැත්වීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අතුරු මැතිවරණ ද්විත්වයක් ටොරොන්ටෝ නගරයේ පැවැත්වෙන අතර තෙවැන්න පසුගිය වසරේදී ලිබරල් පක්ෂය එක් ඡන්දයකින් පමණක් ජයග්‍රහණය කළ මොන්ට්‍රියෙල්හි පැවැත්වීමට නියමිතය. මෙම ආසන තුනම ජයග්‍රහණය කිරීමට ලිබරල් පක්ෂය සමත් වුවහොත් පාර්ලිමේන්තුවේ පටු බහුතර බලයක් සහිත රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාව හිමිවන අතර එමඟින් ඉදිරි වසර තුනක කාලය තුළ මහා මැතිවරණයකට නොගොස් ස්ථාවර පාලනයක් ගෙන යාමටත් නව නීති සම්පාදනයන් පහසුවෙන් සම්මත කර ගැනීමටත් ඔහුට මඟ පෑදෙනු ඇත. මෙම තීරණාත්මක දේශපාලන පියවර මඟින් කැනේඩියානු රජයේ ඉදිරි ගමන්මග තීරණය වනු ඇති බව බී.බී.සී. පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙයි.














