ඇමරිකානු ප්‍රධාන පෙළේ පාපන්දු ලීගය (Major League Soccer) විසින් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඩෙරික් ජෝන්ස් සහ යෝ යෙබෝවා හට ඔට්ටු ඇල්ලීමේ චෝදනා මත ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ. 2024 සහ 2025 තරග වාරයන්හිදී මොවුන් දෙදෙනා තමන් නියෝජනය කළ කණ්ඩායම්වල තරග සඳහා පවා විශාල වශයෙන් ඔට්ටු ඇල්ලූ බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර විශේෂයෙන්ම 2024 ඔක්තෝබර් 19 වැනිදා පැවැති කොලම්බස් කෲ සහ නිව්යෝර්ක් රෙඩ් බුල්ස් අතර තරගයකදී ඩෙරික් ජෝන්ස් හට කහ කාඩ්පතක් ලැබෙන බවට ක්‍රීඩකයන් දෙදෙනාම ඔට්ටු තබා ඇති අතර සැබවින්ම එම තරගයේදී ඔහුට කහ කාඩ්පතක් ලැබී තිබීම විශේෂත්වයකි. තමන් කහ කාඩ්පතක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට රහසිගත තොරතුරු අනෙකුත් ඔට්ටු අල්ලන්නන් සමඟ බෙදාගෙන ඇති බවට ද MLS බලධාරීන් අනාවරණය කරගෙන ඇති අතර මෙම තහනම හමුවේ ඔවුන් දෙදෙනාට මින් ඉදිරියට කිසිදු ඇමරිකානු ලීග් තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවේ. කෙසේ වෙතත් මෙම ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවන් තරගවල අවසාන ප්‍රතිඵලයට සෘජු බලපෑමක් කර ඇති බවට මෙතෙක් සාක්ෂි හමු වී නොමැති බව MLS ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරයි.














