ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ පාසල් වෑන් රථ සහ බස් රථ ගාස්තු අද (10) සිට 5%කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබේ. ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පමණ ඉහළ යාම හමුවේ සිය සේවාව පවත්වාගෙන යාම සඳහා මෙම ගාස්තු වැඩි කිරීම අනිවාර්ය බව එම සංගමය අවධාරණය කරයි. “නින්දෙන් ඇහැරෙනකොට ඩීසල් මිල වැඩි කරලා” යනුවෙන් රියදුරන් පවසන්නේ පූර්ව දැනුම්දීමකින් තොරව සිදුවන මෙම හදිසි මිල ඉහළ දැමීම් තමන්ට ද දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
කෙසේ වෙතත්, වාර විභාග ආරම්භ වී ඇති මෙවැනි සමයක හදිසියේ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් සිය දැඩි අසතුට පළ කරති. දැනටමත් ඉහළ විදුලි බිල සහ ආහාර පාන මිල හමුවේ පීඩාවට පත්ව සිටින තමන්ට, මෙම 5%ක ගාස්තු වැඩිවීම දරාගත නොහැකි බරක් බව ඔවුහු පවසති. රජය මැදිහත් වී පාසල් ප්‍රවාහන සේවාවන් සඳහා සහනදායී ඉන්ධන ක්‍රමවේදයක් හඳුන්වා නොදෙන්නේ නම්, ඉදිරියේදී තවදුරටත් ගාස්තු ඉහළ යා හැකි බවට ද වෘත්තීය සමිති අනතුරු අඟවා ඇත.














