මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ, ශ්‍රී දළදා මාලිගාවේ සදාස්මරණීය හස්ති රාජයකු වන නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂණය කරන ලද ශරීරය අද (10) කොළඹ ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේදී නිල වශයෙන් නිරාවරණය කෙරුණි. ආසියාවේ උසම හස්තියා ලෙස විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා, 13 වතාවක් දළදා මාලිගාවේ පෙරහැරේ සදාකාලික ධාතු කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකරගත් අතර, මෙම හස්තියාගේ තිබූ සුවිශේෂී ලක්ෂණයක් වූයේ කොපමණ දුරක් වුවද පාගමනින්ම ගමන් කිරීමට දැක්වූ කැමැත්තයි. 2022 මාර්තු 07 වැනිදා මෙම හස්තියා මියයාමෙන් පසු, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ චර්ම විශේෂඥයින් කණ්ඩායමක් විසින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව හස්තියාගේ චර්මය සහ දළ යුගලය සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කළේ මෙම ජාතික වස්තුව මතු පරපුරට දායාද කිරීමේ අරමුණින්. ඒ අනුව හෙට (11) සිට මහජනතාවට මෙම හස්තියාගේ ජීවමාන ස්වරූපයට සමාන අනුරුව කොළඹදී දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් තහවුරු කළේය.














