දූෂණ චෝදනාවකට වරදකරුවන් වී කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගය අද (10) දෙවන දිනටත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ආරම්භ විය. 2015 ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර දේශපාලන කාර්යාලවලට බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 6ක පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක සහ නලින් ප්‍රනාන්දු මහතාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් මහාධිකරණය මගින් මීට පෙර පනවා තිබුණි. මෙම දඬුවම්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මෙම අභියාචනා විභාගයේදී අද දින විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සිය වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.














