ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය දේශීය බඩ ඉරිඟු වගාව ප්‍රවර්ධනය කිරීමේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) එක්ව ආරම්භ කර තිබේ. “Sow and Grow” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී ආරම්භ වූ අතර ඒ යටතේ අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක මූලික කරගනිමින් දේශීය බඩ ඉරිඟු වගා කරන ගොවීන් 7,500කට පමණ සහය ලබාදීමට සැලසුම් කර ඇත. මෙමගින් තත්ත්වයෙන් උසස් බඩ ඉරිඟු අස්වැන්නක් ලබාගෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 650,000කගේ සහ මව්වරුන් 330,000කගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂිත අතර කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වෙළඳ ඇතුළු අමාත්‍යාංශ රැසක සහයෝගීතාවයෙන් මෙම වැඩසටහන ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට නියමිතය.














