අද (10) උදෑසන ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සීතාවක ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. සභාව ආරම්භයේදීම විපක්ෂ මන්ත්‍රීවරුන් ඉන්ධන මිල වැඩිවීමට එරෙහිව සිය විරෝධය පළ කළ අතර, වත්මන් පාලනය “ආණ්ඩුවක් නොව පාණ්ඩුවක්” බවට පවසමින් දැඩි විවේචන එල්ල කළහ.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූයේ පසුගිය දින 37ක කාලය තුළ ප්‍රාදේශීය සභාවේ වාහන සඳහා වෙන් කළ ඉන්ධන සම්බන්ධයෙන් පවතින ගැටලුවකි. සභාවේ ලේකම්වරයාගෙන් සහ සභාපතිවරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටියේ “දින 37ක තෙල්වලට මොකද වුණේ?” යනුවෙනි. ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රාදේශීය සභාවේ කුණු කසළ එකතු කිරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම බරපතළ අභියෝගයක් වී ඇති බවත්, පවතින තෙල් අර්බුදය හමුවේ පාලක පක්ෂය වගකීම් විරහිතව කටයුතු කරන බවත් මන්ත්‍රීවරුන් මෙහිදී වැඩිදුරටත් චෝදනා කළහ.














