වෙන්නප්පුව, තඹරවිල ප්‍රදේශයේදී තරුණියකගේ රන් මාලයක් කොල්ලකා පලායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදුන් සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාරවිල වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා අවසර ලබා දී තිබේ. මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා මත බන්ධනාගාරගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස්ව පැමිණි 29 හැවිරිදි මෙම සැකකරු, තලංගම, නුගේගොඩ සහ පානදුර ඇතුළු ප්‍රදේශ රැසක රන් මාල කොල්ලකෑම් සිදුකළ බවට පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
විමර්ශනවලදී හෙළි වූ තවත් විශේෂ කරුණක් වන්නේ සැකකරු විසින් කොල්ලකන රන් මාල ඔහුගේ මව විසින් නැවත සකස් කර අලෙවි කර ඇති බවයි. ඒ අනුව සැකකරුගේ මවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර, ඇය විසින් රන් ආභරණ උකස් තැබූ හෝ අලෙවි කළ ස්ථාන පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














