ප්‍රිමියර් ලීග් ශූරතාව අඛණ්ඩව තෙවරක් අහිමි වීමෙන් පසු මිකෙල් ආර්ටෙටා තම කණ්ඩායම ශූරයන් බවට පත්කිරීමේ අරමුණින් සුවිශේෂී වෙනසක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජූලි මාසයේදී ආර්සනල් සහය පුහුණුකරු ලෙස හිටපු ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ගේබ්‍රියෙල් හයින්ස් පත්කර තිබේ. මොවුන් දෙදෙනා ප්‍රථම වරට හමුවූයේ 2001 වසරේදී ප්‍රංශයේ PSG කණ්ඩායම නියෝජනය කළ සමයේදී වන අතර එවකට 18 හැවිරිදි වියේ පසු වූ ආර්ටෙටාට හයින්ස් “ලොකු අයියෙකු” මෙන් සහයෝගය ලබා දී ඇති බැවින් ඔවුන් අතර පවතින්නේ ඉතා සමීප සහ විශ්වාසවන්ත සබඳතාවකි. හයින්ස් සතු සටන්කාමී මානසිකත්වය සහ දැඩි කැපවීම, ආර්ටෙටාගේ තාක්ෂණික සැලසුම්වලට නව ශක්තියක් එක්කරන අතර ආර්ජන්ටිනාවේ සහ ඇමෙරිකාවේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස හයින්ස් ලබාගත් අත්දැකීම් දැන් ආර්සනල් කණ්ඩායමේ මානසිකත්වය සහ ආරක්ෂක උපක්‍රම ශක්තිමත් කිරීමට යොදා ගැනේ. විචාරකයන් පවසන පරිදි මෙය ආර්සනල් කණ්ඩායම මෙවර ශූරතාව කරා ගෙන යාමට ආර්ටෙටා ගත් වඩාත්ම තීරණාත්මක තීන්දුවක් වනු ඇත.
















