මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව පෞද්ගලික සමාගමකට පැවරීම සඳහා වන බිලියන තුනක වටිනාකමකින් යුතු වසර පහක ගිවිසුමකට අද (10) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අත්සන් තබා තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ පසුගිය මාස 10ක පමණ කාලයක් තිස්සේ අංක තහඩු මුද්‍රණය නතර වී තිබීම නිසා ඇති වූ දැඩි ප්‍රමාදය මඟහරවා ගැනීම සඳහා වේරහැර කාර්යාල පරිශ්‍රයේදී අප්‍රේල් අග හෝ මැයි මුල වන විට මෙම මුද්‍රණ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. අදාළ පෞද්ගලික සමාගම මේ වන විටත් වේරහැර පරිශ්‍රයේ මූලික ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සති තුනක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව ඇත. දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු කැබිනට් අනුමැතිය සහ නීතිපති උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා වාහන හිමියන්ට පවතින අංක තහඩු හිඟයට කඩිනම් විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















