බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන මාර්තු 12 වන බ්‍රහස්පතින්දා දින මීගමුව සහ කටාන යන ප්‍රදේශවලට පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම ජල සැපයුම අත්හිටුවීම එදින පෙරවරු 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම ජල කප්පාදුව මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයට අයත් සියලුම ප්‍රදේශවලට මෙන්ම කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට ද බලපානු ලබයි. ඒ අනුව එටියාවල, ජන්කුරාවෙල, කළුවාරිප්පුව, මිරිස්වත්ත, කොංගොඩමුල්ල, හල්පේ, ආඬිමුල්ල, අම්බලයාය, තොප්පුව සහ වයික්කාල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටියි. එම නිසා ජලය කඩිනමින් රැස් කර තබා ගන්නා ලෙසත්, ජල කප්පාදුව පවතින කාලසීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














