2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය විසින් නිල නැකත් සීට්ටුවක් ප්‍රකාශයට පත් නොකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජ්‍යෝතිෂවේදීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. අද (10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෝතිෂවේදී විද්වත් කමිටුව අවධාරණය කළේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදාය බිඳ වැටී ඇති බවයි. රජය නිල නැකත් සීට්ටුවක් නිකුත් නොකරන්නේ නම් තමන්ගෙන් ඒ සඳහා අවශ්‍ය දත්ත ලබාගත්තේ කුමන පදනමකින්දැයි ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී රවිශංඛ සේනානායක මහතා මෙහිදී ප්‍රශ්න කළ අතර මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් නැකත් කමිටුව විසුරුවා හැර ඇති බවද වාර්තා වේ. අලුත් අවුරුදු චාරිත්‍ර සම්පූර්ණයෙන්ම නැකත් මත පදනම් වන බැවින් රජය නිල මට්ටමින් මැදිහත් නොවීම ජනතාව අතර දැඩි ව්‍යාකූලත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බව විද්වත්හු පෙන්වා දෙති.














