මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අහිතකර බලපෑම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ‘ආර්ථික ආවේක්ෂණ කමිටුවක්’ (Committee on Economic Surveillance) පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම කම්කරු අමාත්‍යවරයා ද වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වීමට නියමිතය. ශ්‍රී ලංකාව වැනි කුඩා විවෘත ආර්ථිකයක් හිමි රටක් බලශක්ති ආනයනය, මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ පවතින වාණිජ හා ආයෝජන සබඳතා මත බෙහෙවින් රඳා පවතින බැවින් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ දැඩි අවදානමක් පවතින බව රජය පෙන්වා දෙයි. ඒ අනුව මෙම කමිටුව මඟින් විවිධ ක්ෂේත්‍රවල ඇතිවිය හැකි අවදානම් ඇගයීම, පවතින තත්ත්වය නිරතුරුව සමාලෝචනය කිරීම සහ ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරනු ඇත.














