මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටින් පිටව යාමට නොහැකිව රැඳී සිටින විදේශීය ජාතිකයන් වෙනුවෙන් විශේෂ වීසා සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් අවලංගු වීම නිසා නියමිත වේලාවට මෙරටින් පිටව යාමට නොහැකි වූ විදේශිකයන් සඳහා කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව දින 14ක කාලයක් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ඊයේ (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව යම් හෙයකින් තවදුරටත් ගුවන් ගමන් අවලංගු කිරීම් පවතින්නේ නම් එම විදේශිකයන්ට තවත් දින 14ක කාලයක් සඳහා ද ගාස්තු රහිතව වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙමඟින් බලාපොරොත්තු වන්නේ විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගන්නා තෙක් විදේශිකයන්ට මෙරට තුළ නීත්‍යානුකූලව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.














