ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් වෙබ් අඩවිය වන LankaPropertyWeb (LPW), මෙරට නිවාස සොයන්නන්ගේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් “Apartment Finder” නමින් නවතම තාක්ෂණික මෙවලමක් හඳුන්වා දී තිබේ. දහස් සංඛ්‍යාත විසිරුණු දැන්වීම් අතර අතරමං නොවී, ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය මහල් නිවාසයක් සොයා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම තනි තනි දැන්වීම් වෙනුවට සමස්ත නිවාස ව්‍යාපෘතියම කේන්ද්‍ර කරගත් සෙවුම් ක්‍රමවේදයක් මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
මෙම Apartment Finder මෙවලමෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ නිවාස ණය වාරිකය මත පදනම්ව නිවාස සෙවීමේ හැකියාවයි. මෙතෙක් පැවති මිල ගණන් මත පමණක් සෙවීමේ ක්‍රමයෙන් බැහැරව, තම මාසික ආදායමට අනුව ගෙවිය හැකි ණය වාරිකය අනුව තමන්ට ගැලපෙන නිවස තෝරා ගැනීමට පාරිභෝගිකයාට දැන් හැකියාව පවතී. මීට අමතරව සිතියම් දර්ශනය (Map View), දත්ත වගු දර්ශනය (Table View) සහ ලැයිස්තු දර්ශනය (List View) යන ක්‍රම තුන ඔස්සේ වෙළඳපොළ පිළිබඳ පූර්ණ විනිවිදභාවයකින් යුතුව තොරතුරු ගවේෂණය කළ හැකිය.
මෙම තාක්ෂණික නවෝත්පාදනය වෙනුවෙන් LankaPropertyWeb ආයතනය 2026 වසරේදී අන්තර්ජාතික සම්මාන රැසකින් ද පිදුම් ලැබීය. ඒ අතර “Best Use of AI-Powered Technology in Real Estate” සහ “Most Innovative PropTech Solution” වැනි සම්මාන ප්‍රධාන වේ. මෙම නව මෙවලම හරහා සති කිහිපයක් ගතවන නිවාස සෙවීමේ ක්‍රියාවලිය මිනිත්තු කිහිපයක් දක්වා අඩු කිරීමට හැකි වී ඇති බව LankaPropertyWeb කළමනාකාර අධ්‍යක්ෂ දහම් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.














