ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය. පෞද්ගලික හේතුවක් මත විදේශගත වීම සඳහා රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් විය. මෙම නඩුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු අවසන් වී ඇති බැවින් සහ දැනටමත් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ තහනම මෙලෙස ඉවත් කර තිබේ.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ අමතර ඇප කොන්දේසි දෙකක් මත විදේශගත වීම සඳහා මහාධිකරණය විසින් දැනටමත් තාවකාලික අවසරයක් ලබා දී ඇති බවයි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ තහනම ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විදේශගත වී පැමිණි පසු නැවත විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණයට භාර දෙන ලෙසත් එම අධිකරණයේ නියෝගවලට අනුකූලව කටයුතු කරන ලෙසත් සැකකරුට නියෝග කළේය.
ධම්මික රණතුංග මහතාට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇත්තේ 2017 සහ 2018 කාල වකවානුවලදීය. එහිදී ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීමට තිබූ දිගුකාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) ක්‍රියාත්මක කිරීම හරහා රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් රජයට සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබේ. මෙම සිද්ධියට අදාළව හිටපු සභාපතිවරයා මේ වන විට ඇප මත මුදා හැර සිටියි.














