ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේදී අද (10) පැවැති විශේෂ සැමරුම් උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, කාන්තාවන් විසින් පවුල සහ සමාජය වෙනුවෙන් ඉටුකරනු ලබන වැටුප් රහිත සත්කාරක සේවය (Unpaid care work) මෙතෙක් නිසි ඇගයීමකට ලක්ව නොමැති බවයි. ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා මෙම සේවාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බැවින්, එය පිළිගැනීමට සහ සහාය වීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් සකස් කිරීමේ අවශ්‍යතාව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
කාන්තාවන් සහ දැරියන් සවිබල ගැන්වීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ලබාදීම ප්‍රබලතම මෙවලමක් වන බවත්, දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ ශ්‍රම බලකායට කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම තිරසාර සංවර්ධනයට අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය. කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීම උදෙසා ඇය දක්වන කැපවීම අගයමින් මෙම උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය වෙත ‘Shireen Lateef Women’s Leadership Award’ සම්මානය ද පිරිනමනු ලැබීය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














