ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සඳහා අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ජනතාවට විශ්වාසනීය සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය මේ වන විට නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවයි. පවුලක ආදායමෙන් වැඩි පංගුවක් ප්‍රවාහනය සඳහා වැයවන පසුබිමක, ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් හරහා එම පිරිවැය අවම කිරීමත්, වාහන ආනයන වියදම් සහ පරිසර දූෂණය පාලනය කිරීමත් රජයේ ප්‍රධාන ආර්ථික ඉලක්කයක් බව ඔහු පෙන්වා දුන්නේය.
නූතන තාක්ෂණයට අනුරූපව ලංගමය නවීකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, පැරණි බස් රථ ක්‍රමානුකූලව ඉවත් කර ගුණාත්මක බස් රථ සංචිතයක් ඇති කිරීමට පියවර ගන්නා බව පැවසීය. එහි ආරම්භයක් ලෙස ජපාන රජයෙන් ලැබෙන බස් රථ 08ක් ඇතුළුව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නව බස් රථ බලඇණියක් ධාවනයට එක් කිරීමට නියමිතය. නාගරික මාර්ග තදබදය අවම කිරීම සඳහා ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් කෙටි ධාවන බස් රථ සේවාවන් විධිමත් කරන බවත්, මගීන්ට හිරිහැරයක් නොවන සුවපහසු ගමන් සේවාවක් සහතික කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහන සේවය යනු හුදෙක් ලාභ-අලාභ මත තීරණය වන්නක් නොව ජනතාවට සැපයිය යුතු අත්‍යවශ්‍ය සේවාවක් බව පැවසූ ජනාධිපතිවරයා, ලාභ නොලබන ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බව ද සඳහන් කළේය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, මගී ජනතාව සමඟ සුහදශීලීව සහ වගකීමෙන් කටයුතු කරන නව සේවා සංස්කෘතියක් ලංගමය තුළ ඇති කළ යුතු බවත් ඔහු නවක පත්වීම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව, විධිමත් කළමනාකරණයක් සහිත රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන ක්‍රියාවලියක් හරහා රටේ ආර්ථිකයට සහ ජන ජීවිතයට සුවිශාල දායකත්වයක් ලබාදීම රජයේ අවසන් අපේක්ෂාවයි.














