අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පෙරේදා (08) පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් ඉලක්ක කර අනතුරුදායක ලෙස පන්දු යොමුකිරීමේ චෝදනාව මත ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිංට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (10) පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම වාර්තා වූයේ නවසීලන්ත ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී අර්ෂ්දීප් විසින් එල්ල කළ පන්දුවක් ඩැරල් මිචෙල්ගේ කලවා ප්‍රදේශයේ වැදීමත් සමඟයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ තරගයක් අතරතුර නුසුදුසු හෝ භයානක අයුරින් ක්‍රීඩකයෙකු දෙසට පන්දු හෝ ක්‍රීඩා උපකරණ විසිකිරීම ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවයි. අර්ෂ්දීප් සිං සිය වරද පිළිගැනීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිල පරීක්ෂණයක් පවත්වනු නොලැබේ.














