විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිදහස සීමා කිරීමට පාලනාධිකාරිය ගෙන ඇති පියවරයන්ට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පන්දම් විරෝධතාවක් අද (10) රාත්‍රියේ ගාලා හන්දියේදී පැවැත්විණි. නව රෙගුලාසි සහ පරිපාලන චක්‍රලේඛ හරහා ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමට රජය සහ සරසවි පාලනාධිකාරිය උත්සාහ කරන බවට සිසුන් මෙහිදී චෝදනා කළහ.
විරෝධතාවයේ නිරත වූ සිසුන් පැවසුවේ වත්මන් පාලනාධිකාරිය විශ්වවිද්‍යාල පද්ධතිය පෙරපාසල් මට්ටමට ඇද දමමින් පවතින බවත්, සිසුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරත වන බවත්ය. විරෝධතාව හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් පොලිසිය විසින් තාවකාලිකව වසා දැමීමට කටයුතු කිරීම නිසා එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද වාර්තා විය.














