ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට (11) සිට මාර්තු 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCDV) මූලිකත්වයෙන් සංවිධානය වන මෙම සමුළුව, ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී වෛද්‍ය විද්‍යාත්මක හමුවක් වනු ඇතැයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය නයනා මදරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා විදෙස් නියෝජිතයින් සහ විශේෂඥයින් 342ක් සහභාගී වීමට නියමිත අතර, විදේශීය සම්පත්දායකයින් 45 දෙනෙකු විසින් චර්ම රෝග ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් සහ ප්‍රවණතා පිළිබඳව දේශන පවත්වනු ලබයි. මීට අමතරව ශ්‍රී ලාංකික චර්ම රෝග විශේෂඥයින් සහ සම්පත්දායකයින් 150 දෙනෙකු ද සිය දායකත්වය ලබාදීමට නියමිතය. ඝර්ම කලාපීය කලාපයට බලපාන චර්ම රෝග පාලනය සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.














