තම දියණිය බස් රථයට නංවා නොගත් බවට චෝදනා කරමින් මතුගම ඩිපෝවට අනුයුක්ත ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට කැත්තකින් පහර දී බරපතල තුවාල සිදුකළ සැකකරුවෙකු බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අයගම, ඉන්දලවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අසිත උක්වත්ත නැමැති කොන්දොස්තරවරයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, ඊයේ (09) උදෑසන මතුගම සිට කෙලින්කන්ද බලා ධාවනය වූ බස් රථය ජනපදය ප්‍රදේශයට ළඟා වූ අවස්ථාවේදී සැකකරු මුලින්ම රියදුරු සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ. අනතුරුව එදිනම දහවල් 2:15 ට පමණ බස් රථය යළි එම ස්ථානයට පැමිණි විට, සැකකරු කැත්තක් රැගෙනවිත් රියදුරුට පහර දීමට උත්සාහ කර ඇත. එය වැළැක්වීමට මැදිහත් වූ කොන්දොස්තරවරයාට මෙම කැති පහර වැදී ඇති අතර, රියදුරු විසින් වහාම තුවාලකරු බදුරලිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. සැකකරු අද (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














