ඔස්ට්‍රේලියාවේ පැවැති කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වූ ඉරාන ජාතික කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනෙකු එරටින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති අතර, කණ්ඩායමේ සෙසු පිරිස මේ වන විට යළි ඉරානය බලා පිටත්ව ගොස් ඇති බව සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරයි. අද (10) පෙරවරුවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් තහවුරු කළේ ඉරාන ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට මානුෂීය වීසා බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත්, නවතම වාර්තාවලට අනුව තවත් ක්‍රීඩිකාවක සහ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද අලුතින් දේශපාලන රැකවරණ ඉල්ලා ඔස්ට්‍රේලියාවේ නතර වී තිබේ.
පසුගිය සතියේ පැවැති තරගයක් ආරම්භයේදී ඉරාන ජාතික ගීය වාදනය වන අවස්ථාවේ නිහඬව සිටිමින් විරෝධය පළ කිරීම හේතුවෙන්, මෙම ක්‍රීඩිකාවන් යළි සිය රටට ගියහොත් එරට බලධාරීන්ගෙන් දරුණු දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි යන බිය මත මෙම තීරණය ගෙන ඇත. දේශපාලන රැකවරණ පැතූ පිරිස හැර කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් ඉරානයට ළඟා වන නිශ්චිත වේලාව මෙතෙක් අනාවරණය වී නොමැත.














