මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය සැළකිල්ලට ගනිමින්, මෙරට ඉන්ධන සහ බලශක්ති පරිභෝජනය හැකිතාක් අරපිරිමැස්මෙන් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ලෝක දේශපාලනික තත්ත්වය සහ බලශක්ති සැපයුම් මාර්ගවලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම පූර්ව අනතුරු ඇඟවීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, ඉදිරි මාස දෙකක කාලය සඳහා අවශ්‍ය ඉන්ධන සහ බලශක්ති සැපයුම් මෙරට සතුව සුරක්ෂිතව පවතින බවට ජනාධිපතිවරයා ජනතාවට සහතික වී තිබේ. එනමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවිය හැකි මිල වෙනස්වීම් සහ සැපයුම් ජාලයන්හි ඇතිවිය හැකි බාධා පාලනය කරගැනීම සඳහා පූර්ව සූදානමක් ලෙස ශක්තිය කළමනාකරණය කරගැනීම අතිශය වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි. ලෝක බලශක්ති අර්බුදය හමුවේ ලිට්රෝ ගෑස් මිල ද ඉහළ ගොස් ඇති පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සැලකේ.














