ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ සදානුස්මරණීය මතකයක් ඉතිරි කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා, ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර මහජන ප්‍රදර්ශනයට නිරාවරණය කිරීම ඊයේ (10) සිදු කෙරුණා. කොළඹ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී පැවැති මෙම උත්සවය සඳහා බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සහ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
2022 වසරේ මාර්තු මස 07 වැනිදා දිවිසැරිය නිමා කළ නැඳුන්ගමුවේ රාජා, මෙරට හීලෑ අලි පරපුරේ සුවිශේෂී සලකුණක් ලෙස සැලකෙන්නේ අවස්ථා 13 කදී සුවිශේෂී ලෙස දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකර ගැනීම නිසයි. රථවාහන මගින් ප්‍රවාහනය වීම ප්‍රතික්ෂේප කරමින් කිනම් දුරක් වුවද පාගමනින්ම ගමන් කිරීමට දැක්වූ කැමැත්ත රාජා කෙරෙහි ජනතාව තුළ තිබූ ගෞරවය තවත් තීව්‍ර කළා. අද (11) සිට මහජනතාවට මෙම ප්‍රතිනිර්මාණය නැරඹීමට අවස්ථාව සලසා දී ඇති අතර, එය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන ලද වැදගත් කෞතුක උරුමයක් වනු ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.














