මැදපෙරදිග කලාපයේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. මෙම සංඛ්‍යාලේඛන මීට පෙර වාර්තා නොවූ මට්ටමේ ඉහළ අගයක් ගන්නා අතර පෙන්ටගනය මුලින් ප්‍රකාශ කර තිබුණේ සෙබළුන් අට දෙනෙකු පමණක් බරපතල තුවාල ලබා ඇති බවයි. කෙසේ වෙතත් රොයිටර් පුවත් සේවයේ අනාවරණයෙන් පසු නිවේදනයක් නිකුත් කළ පෙන්ටගනය, “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම ආරම්භ වී ගතවූ දින 10ක කාලය තුළ සෙබළුන් 140ක් පමණ තුවාල ලබා ඇති බව පිළිගෙන ඇත.
පෙන්ටගන ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පර්නල් සඳහන් කරන්නේ තුවාල ලැබූ සෙබළුන්ගෙන් බහුතරයකගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔවුන්ගෙන් 108 දෙනෙකු මේ වන විටත් නැවත සේවයට වාර්තා කර ඇති බවත්ය. බරපතල තුවාල ලැබූ සෙබළුන් අට දෙනා සඳහා අවශ්‍ය ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම සෙබළුන්ට සිදුවූ තුවාල අතර පිපිරීම් නිසා මොළයට සිදුවන කම්පන සහගත තුවාල (Traumatic Brain Injuries) තිබේද යන්න රොයිටර් පුවත් සේවය විමසා සිටියද ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.














