ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට QR කේත ක්‍රමය (National Fuel Pass) යළි ක්‍රියාත්මක කළේ නම් පවතින සීමිත ඉන්ධන සංචිත වඩාත් විධිමත්ව කළමනාකරණය කර ගැනීමට අවස්ථාව තිබූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු වැඩබලන සභාපති සිරිල් සුදුවැල්ල මහතා පවසයි. මහජන උපයෝගීතා කොමිසමේ හිටපු ඛනිජ තෙල් උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළ ඒ මහතා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන ආනයනය සීමා වී ඇති මොහොතක, මිල වැඩි කිරීම හරහා ජනතාව පීඩාවට පත් කරනවා වෙනුවට QR ක්‍රමය මඟින් ඉන්ධන භාවිතය සීමා කර සංචිත ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබූ බව ඔහු පෙන්වා දෙයි. එසේම මෙරට ඉන්ධන බෙදාහරින LIOC සහ සිනොපෙක් වැනි බහුජාතික සමාගම්වලට මෙම මිල වැඩි කිරීම හරහා විශාල අමතර ලාභයක් උපයා ගැනීමට අවස්ථාව සැලසී ඇති බව ද ඔහු සඳහන් කළේය. වත්මන් මිල සූත්‍රය අනුව ලෝක වෙළඳපොළේ මිල ඉහළ යන විට දේශීය මිල ද ඉහළ දැමීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, රටේ පවතින විශේෂ ආර්ථික තත්ත්වය හමුවේ විකල්ප ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත්, රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ පිරිවැය පියවා ගැනීමට සහ ලංවිම මෙන්ම තෙල් සංස්ථාව පාඩු ලැබීම වැළැක්වීමේ අරමුණින් බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.













